iPhone 6 in Sri Lanka – Review in Sinhala
දැන් දැන් විශාල දුරකථන සඳහා ලොකු අවධානයක් යොමුවෙලා. අඟල් 4ක තිරයක් ඇති iPhone 5S වැනි දුරකථන දැන් කුඩා ප්‍රමාණයේ දුරකථන ගණයටයි වැටෙන්නේ. මීට ටික දිනකට පෙර නිකුත් වූ iPhone 6 ජංගම දුරකථනය iPhone පරම්පරාවේ වෙනසක් ඇති කල ජංගම දුරකථනයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ එහි විශාල ප්‍රමාණය නිසයි. මේ හේතුව නිසා නව iPhone 6 සඳහා වැඩි අවධානයක් හිමිවෙලා. ඒ වගේම ලොව පුරා සීග්‍රෙයන් අලෙවි වීමටත් පටන් අරගෙන. iPhone 6 සමඟ ඊටත් වඩි විශාල තිරයක් සහිත iPhone 6 Plus නිකුත් වුනා. ඒත් දැනට ඔබට ලංකාවේදී මිලදී ගන්නට පුළුවන් iPhone 6 පමණයි.
Unboxing
ඇපල් සමාගම සිය නිෂ්පාදන වල ඇසුරුම ගැන වැඩි අවධානයක් යොමුකරනවා. ඒ නිසාම උසස් නිමාවකින් යුත් ඇසුරුමකින් තමයි iPhone 6 වෙළඳපලට පැමිණෙන්නේ. හැබැයි අමතක කරන්න එපා. මේ ඇසුරුමේ මිලත් ඔබ ගෙවන දුරකථනයේ මිලට ඇතුලත් වෙනවා. ඇසුරුම ඉවත් කරන්නට නම් පිටුපස ආවරණය තියුණු තලයක් මඟින් ඉවත් කල යුතුයි. පසුව ඉහළ ආවරණය ඉවත් කල යුතුයි. එය තරමක් පරස්සමින් කල යුතු වන්නේ එක්වරම ඔබේ වටිනා දුරකථනය විසිවී යා හැකි නිසයි. ජංගම දුරකථනයේ පහලින් ඔසවා ඔබේ iPhone 6 ජංගම දුරකතනය ඇසුරුමෙන් ඉවත් කරන්න පුළුවන්.
SEE ALSO: ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය ජනනාත් වරකාගොඩ මිලදී ගනී
පෙර මෙන්ම ඇසුරුමේ ඇති අනෙකුත් දේ අතර නොයෙකුත් පත්‍රිකා, ඇපල් logo ස්ටිකර් ඇතුලත්. Sim Remover එකත් ඒ අතර දකින්නට පුළුවන්. මේ කුඩා මෙවලමෙන් ඔබේ Nano Sim පත iPhone 6 ජංගම දුරකථනයට ඇතුලත් කල හැකියි. ඇතුලතින් Power Connector එක, Data Cable එක සහ Head Phone එක මනා අයුරින් අසුරා තිබෙනවා. ඒ අනුව packaging අතින් නම් iPhone 6 හි ඒ තරම් වෙනසක් දකින්නට නැහැ.
iPhone 6 නිකුත් වන්නේ Space Gray, White හා Gold යන වර්ණ තුනෙනි. ඒ අතරින් අපි අද review කරන්නේ iPhone 6 Gold දුරකථනයයි. වර්ණ වෙනස හැරුණු විට මේ සංසකරණ තුනෙහි වෙනත් වෙනසක් නැහැ.
මීට පෙර නිකුත් කල iPhone මෙන්ම මේ නව iPhone 6හිත් Home Button එක දකින්නට පුළුවන්. කෙසේ නමුත් මීට පෙර පැවති edges සහිත හතරැස් පෙනුම මෙහි දකින්නට නැහැ. ඒ වෙනුවට අලුතින් හඳුන්වා දුන් වක්‍ර වූ සුමට දාර සහිත නව පෙනුමට බොහෝ දෙනා මුලදී කැමැත්තක් දැක්වූයේ නැහැ. පුද්ගලිකව මා වුවත් ඒ පෙනුමට කැමැති වුනේ නැහැ. ඒත් මේ අලුත් ජංගම දුරකථනය අතට ගත් වහාම ඒ ආකල්පය ක්ෂණිකයින් වෙනස් වුනා. ඒ වගේම සිහින් පෙනුමත්, සැහැල්ලු බවත් නිසාම ක්ෂණිකයෙන් හිත් ඇද බැඳගන්නට iPhone 6 සමත්. ඒ වගේම ඇපල් නිෂ්පාදන වලටම ආවේනික වූ උසස් පෙනුමත් ඒ ආකාරයටම මෙහි දකින්නට පුළුවන්.
මේ දවස් කිහිපයේම මම පාවිච්චි කලේ iPhone 6. මම සාමාන්‍යෙයන් Apple Fan කෙනෙක් නෙවෙයි. ඒ නිසා විශාල තිරයක් සහිත ජංගම දුරකථනයක් කියන්නේ මට අරුමයක් නෙවෙයි. ඉතින් මම මේ අලුත් iPhone එක මීට පෙර iPhone භාවිත කරන අය කිහිපදෙනෙකු අතට දීලා බැලුවා. ඒ අය බොහෝ දෙනෙක්ගේ අවධානය ක්ෂණිකව යොමු වුනේ ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයයි. ඒ වුනත් Android users ලා බොහෝ දෙනෙක්ට නම් iPhone 6 කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ජංගම දුරකථනයක්. මොකද Moto X, Nexus 4 වගේ ජංගම දුරකථන වල ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක තිරයකියි iPhone 6 සතු වන්නේ.
SEE ALSO: නව iPhone 6 හා Apple Watch ගැන ඔබ දැනගත යුතුම දේ !
iPhone 6 හි තිරයට එය නිකුත් වීමටත් ප්‍රථම සිටම වැඩි අවධානයක් හිමි වුනා. ඒ පිළිබඳ විවිධ මත පළවූ අතර ඒ අතරින් සමහර තැනක සඳහන් වුනේ මේ තිරය බිඳ දැමිය නොහැකි ලෙසයි. ඒත් එය ඇත්තක් නොවන බව දැන් හෙලි වෙලා. අවාසනාවකට අපට තවමත් drop test එකක් කරන්නට තරම් හැකියාවක් නම් නැහැ.
පික්සල් 750 x 1334 සහිත අඟල් 4.7 ක තිරයේ Color reproduction එක උසස්. ඒ වගේම වැඩි ආනතියකින් වුවත් හොඳින් දිස් වනවා. Samsung Galaxy Note 4 තරම් පික්සල් ඝණත්වයක් නැති වුනත් මෙය අතිශය උසස් තිරයක්. ඒ වගේම තිරය මනාලෙස දුරකථනයේ බඳ සමඟ සම්බන්ධ වනවා. ඒ නිසා අතර අපහසුවක් හෝ වෙනසක් දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට එකම ද්‍රව්‍යයකින් තනා සුමට ලෙස ඔප මට්ටම් කල ජංගම දුරකථනයක් ලෙසයි හැඟෙන්නේ. කෙසේ නමුත් සිහින් හා බරින් සැහැල්ලු නිසා පහසුවෙන් දෙකට කැඩී යා හැකි ආකාරයක් ඔබට දැනෙන්න පුළුවන්.
දුරකථනයේ පසුපස සුදු පැහැ රේඛා සටහන් පෙනෙන්නේ ස්ටිකර් අලවා ඇති ආකාරයටයි. ඒ වගේම පසුපස කැමරාව තරමක් ඉදිරියට නෙරා තිබීමත් තරමක් අපහසුතාවක්. මන්ද ඒ නිසා iPhone 6 පැතලි මතුපිටක තැබූ විට කැමරාවේ ඉදිරිපස වීදුරුව ස්පර්ශ වනවා. ඒ නිසා එය පහසුවෙන් සීරිමට හැකියාවක් ඇති ලෙසයි දැනෙන්නේ. පුද්ගලිකව මට වුවත් ඒ හැඟීම දැනුනා. නමුත් කැමරා වීදුරුව උසස් වීදුරු වර්ගයකින් තනා ඇති නිසා පහසුවෙන් සීරීම් වලට ලක් වන්නේ නැති බවයි ඇපල් සමාගමනම් පවසන්නේ.
Performances
iPhone 6 කියන්නේ මොන පැත්තකින් බැලුවත් සුපිරි ජංගම දුරකථනයක්. ඇපල් සමාගම පසුගිය වසර පුරාවටම iPhone හි සෑම අඟලක් පාසා දියුණු කරන්නට ක්‍රියාකර ඇති බවනම් පැහැදිලියි. ජංගම දුරකථනය බලගැන්වෙන්නේ A8 ප්‍රොසෙසරයකිනි. ඒ නිසා apps lauch කිරීමේදී. apps කිහිපයක් එකවර ක්‍රියා කිරීමේදී, games play කිරීමේදී 5S ට වඩා වැඩි වේගයකින් ඒ සියල්ල කිරීමට iPhone 6 හට හැකියාව ලැබී තියෙනවා. මීට අමතරව M8 නම් අලුත් ප්‍රොසෙසරයක් මඟින් ඔබේ චලන, ඔබ සිටින උස වැනි දේ සටහන් කරගන්නට සමත්.
කැමරාව
iPhone 6 ලොව හොඳම ජංගම දුරකථනය බවට පත්කරන්නේ එහි කැමරාවයි. මෙගා පික්සල් 8ක කැමරාවක් වුවත් නව Focus Pixel තාක්ෂණය හා තවත් වැඩිදියුණු කිරීම් නිසා පෙරටත් වඩා හොඳ ඡායාරූප ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ඔබට Focus වෙමින් පවතින අවස්ථාවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඒත් මටත් පුරුද්දට වගේ විටින් විට focus කරන්නට touch කෙරුනා.
දැන් Panaroma ඡායාරූප වුවත් High Resolution වලින් ලබාගන්නට හැකියාව තියෙනවා. සරලවම කියනවා නම් සාක්කුවෙන් එලියට අරගෙන තත්පර කිහිපයකින් උසස් තත්වයේ ඡායාරූප ගන්න පුළුවන් හොඳම ජංගම දුරකතනයක් ලෙස iPhone 6 හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තත්පරයට රූපරාමු 60කින් 1080 ප්‍රමාණයේ වීඩියෝ රූගත කරන්නට හැකියාව ඇති මෙහි Slow Mo, Timelapse වැනි විවිධ ආකාර වලටත් රූගත කරන්නට හැකියාව තිබෙනවා. Slow Mo ගැන විශේෂයෙන් කතා කල යුතු වන්නේ තත්පරයට රූප රාමු 240ක තරම් වේගයකින් රූප රාමු ලබාගන්නට මේ කැමරාව හා ප්‍රොසෙසරය සමත්. ඒ නිසා මින් පෙර නොවූ තරම් Slow Motion විඩියෝ රූගත කිරීමේ හැකියාව iPhone හට ලැබී තිබෙනවා.
හැමදේම හොඳට – කිසිවක් නොවෙනස්ව
ඒ තමයි iPhone 6 හි ඔබ දැනගත යුතුම දේවල්. ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ නිකුත් වුනේ අවුරුදු 7ක් තිස්සේ ලත් අත්දැකීම් වලින් නිපදවූ තවත් එක් iPhone එකක් විතරයි.
උපුටා ගැනීම Techguru.lk
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
මේකත් නැවිලා කැඩෙයිද දන්නේ නෑ නේද?
ReplyDelete